Wednesday, July 24, 2019






                     පරිසරය හා මිනිසා

                   

                                 මිනිසාට ජීවය ලබාදෙන පරිසර මාතාවගේ වියෝව සනිටුහන් කරමින් මිනිසා විසින් සොබාදහම කුරිරු ලෙසින් විනාශ කරයි. හමායන මද සුළඟ, පියකරු තුරුලතා, සිත් වසඟ කරන දිය ඇලි, සවන් පිනන විහඟ නාද රටකට පරිසරයකට කෙතරම් අඟනා වස්තූන්ද..? නමුදු අද අපට එවන් දෑ දැක ගැනීමට තරම් පිං නොමැත. තාක්ෂණයට මුල් තැන එට සංවර්ධනව කිරීමට පෙළඹී සිටිින මිනිසා විසින් කිසිදු හිතක් පපුවක් නොමැතිව පරිසරය දූෂණය කරනු ලබයි. තමාගේ එදිනෙදා දිවිය ගැන පමනක් සිතන මිනිසා පහසුව තකා භාවිතා කරන දිරාපත් නොවන ද්‍රව්‍ය මගින් දිනෙන් දින අප ලක් මාතාව අවසානය කරා රැගෙන යයි. මිනිසා යනු මනසින් උසස් ලෙස සලකන්නෙකි. නමුදු එම සත්තවයනට රට යන මේ වැරදි මාවත නොපෙනේ. මන්ද යත් මිනිසා එතරම්ම ආත්මාර්ථකාමී වී ඇත. අනාගතයක් ඇති බව ඔහුට අමතකව ගොස් ඇත. මෙකී තත්ත්වයක් මත ලංකාව අද වන විට පවතිනුයේ දරුණුතම ආඝාතයකය. වත්මනේ ස්වභාවික විපත් විසින් මිනිසාට එලවා එළවා පහර දෙති. ඒ අතර ලෙඩ රෝග විසින් මිනිසා හිරකරගෙන සිටී. මෙයට වගකිව යුත්තේ අන් කවරකුවත් නොව මිනිසාම ය.

                        වත්මන් ශ්‍රී ලංකාවද මෙකී ව්‍යසනයන්ට ගොදුරුව සිටී. සෑම කාලයකටම පොදු වූ දේශගුණයක් පැවති ලංකාව අද වන විට පරිසරයේ වන සුළු වෙනසටත් ඔරොත්තුනොදෙන තරමටම වෙනස්ව ගොස් ඇත. රට තුල ස්වභාවික ආපදා වැඩිව ඇත. ඒ ඔස්සේ වන්නා වූ ලෙඩ රෝග අධික වී ඇත. මවිසින් සකස් කරන ලද මෙම නිබන්ධනය  වත්මන් ලංකාව තුල වර්තමානයේ පවතින පාරිසරික ගැටලු හා එම තත්ත්වයන් මිනිසාට හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට බලපාන ආකාරය පිළිබදව ගෙන ඒමට දරණ ලද උත්සාහයක ප්‍රතිපලයකි.






                      පරිසරය යනු...?   



        මිනිසා වටා පවතින්නා ව සියලුම දේ පරිසරය ලෙස සරලවම දැක්විය හැකිය. ස්වභාවික පරිසරය පොදු ව්‍යවහාරයේදී පරිසරය ලෙස හදුන්වයි. මේ තුළ පවතින්නා වූ සජීවී අජීවී සියලුම දේ මෙම පරිසරයට අයත් වේ. නමුදු ස්වභාවික පරිසරය නිර්මිත පරිසරය හා සසදන කළ එකිනෙකින් බොහෝ සෙයින් පරස්පර වේ. එනම් ස්වභාවික පරිසරය තුළ පවතින දෑ වන පස, වායු ගෝලය, ජලය, ක්‍ෂුද්‍ර, ජීවීන්, සතුන්, ගහ කොළ ආදී සියලුම අංගයන් මිනිස් මැදිහත් වීමකින් තොරව නිර්මිත ස්වභාවික සංසිද්ධින් වන අතර ඒවා කිසිවගේ මැදිහත් වීමකින් තොරව හටගත් දේය. මෙකී පරිසරය ජීව අජීව ලෙස දෙකොටසකට ප්‍රධාන වශයෙන් බෙදා වෙන්කොට දැක්විය හැකිය. අද්‍යතනයේ ස්වභාවික පරිසරය හා මිනිසා ගසට පොත්ත මෙන් බැදී පැවති අතර වත්මනේ එම තත්ත්වය ගිලිහී යමින් පවතී. නමුදු මිනිසාට පරිසරයෙන් තොරව පැවැත්මක් නොමැත. එය සත්‍ය වූ සාධකයකි.

                            පරිසරය යන සංකල්පය ඒ ඒ පුද්ගලයාගේ ප්‍රමුඛතා හා අභිරුචියනට අනුව විවිධාකාරයෙන් විග්‍රහ කර ඇත. මේ අතරින් වඩාත් ප්‍රයොජනවත් විග්‍රහයක් සේ 1977 රුසියාවේ ටිබිලින්සි නගරයේ පරිසර අධ්‍යාපනය සම්බන්ධව අන්තර් රාජ්‍ය මට්ටමෙන් පැවති සම්මේලනයේ විග්‍රහය පෙන්වාදිය හැකිය. මෙහිදී “පරිසරය මනුෂ්‍යයන් සහ වෙනත් ජීවීන් ජීවත් වන සහ ඔවුන්ගේ පැවැත්ම රදා පවත්වා ගන්නා වූ සවභාවික හා සමාජීය රටා පද්ධතියක් වේ. ” ලෙස විග්‍රහ කර ඇත. මේ තුළ පරිසරයේ ස්වභාවික අංග මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ලද අංශ පිළිබදව සැලකිලිමත්ව ඇත.

                                 ලෝකයේ පරිසර පද්ධති අතරින් ගෙන බලන කල ශ්‍රී ලංකාව උණුසුම් කලාපයට අයත් පරිසර පද්ධතියකින් සමන්විතය. නිවර්තන කලාපීය රටක් වීමත් දිවයිනක් ලෙස හුදකලාව පිහිටීමත් නිසා ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ පාරිසරික පද්ධතියකට උරුමකම් කියයි. නිවර්තන වැසි වනාන්තර, කදුකර වනාන්තර, කඩොලාන, තෙත් බිම් ආදී වැදගත් පරිසර දද්ධති රැසක් මේ අතර වේ. අවුරුද්දේ සෑම කාලයකටම සරිලන දේශගුණික රටාවක් ඇති ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගැන වූ ඓතිහාසික අර්ථකතනය වූයේ කිසිදු අපල උපද්‍රවයක්න් තොර රාජ්‍යයක් යන්නයි. මෙයට හේතුව වූයේද සෑම අතින්ම සුරක්ෂිත වූත්, සෑම කාලයටම එකසේ පැවතීමේ හැකියාවක් ලාංකීය දේශගුණය සතුවීම යි. 





              මිනිසා හා පරිසරය අතර සම්බන්ධය



               පරිසරය සජීවීය එය සම්පතකි. පරිසරය නම් වූ එම සජීවී සපත නොතිබුණීනම් මානවයාද අද මිහිපිට නොමැත. එපමණටම අද පරිසරය හා මානවයා අතර පවතින්නේ එකිනෙකින් වෙන් කල නොහැක් වූ නොබිදිය හැකි සබදතාවයකි. මිනිසා විසින් තමා අවට පවතින්නා වූ සියලුම භෞතික අභෞතික දෑ පරිසරය ලෙස හදුනා ගන්නා අතර පරිසරය අසීමිතව තම පැවැත්ම උදෙසා ප්‍රයෝජනයට යොදා ගනී. පරිසරය නම් සම්පත ක්‍ෂය වීම සාමාන්‍යය සිදුවීමක් ලෙස සලකා ඉවත දැමිය නොහැකි සංසිද්ධියකි. මන්දයත් ඒ හා සමගම මානවයාගේ පැවැත්මද තීරණය වන බැවිනි.

                              මිනිසා නැමති සත්ත්වයා නිර්මිත වන්නේ පරිසරය තුලිනි. මේ හේතුවෙන් ක්‍ෂය වන පරිසරය රැකීමේ අමිල මෙහෙවරේ ප්‍රධානතම නියමුවා විය යුත්තේ ද මිනිසාමය. මෙය මිනිසා සතු අනිවාර්යය වූත් වගකීම් සහගත වූත් කර්ත්‍යවයකි. එදා මුතුන් මිත්තන් විසින් පරිසරයට එනම්, ගහ කොළ, ඇල දොළ, සතා සීපාවුන්ට සලකනු ලැබුවේ තම දරුවන්ට මෙනි. ඒ තුලින් ඔවුන් ලබාගත් දෑ බොහෝය. තම ජීවිතය සුන්දරව මෙන්ම සෞඛ්‍යයමත්ව පවත්වාගෙන යාමට ආදි මිනිසාට පරිසරයෙන් ලැබුනේ නොමද පිටිවහලකි. අපේ මුතුන් මිත්තන් එකී පරිසරය දෑස් මෙන් සුරක්ෂා කොට වත්මනට ලබා දුන්නා සේම අපද එය අනාගත පරපුර වෙත උරුම කර දිය යුතු ය.

                                 මිනිසා හා පරිසරය අතර ඇත්තේ වෙන් කල නොහැකි වූ සබැදියාවකි. මිනිසා මුලුමනින්ම පරිසරයෙන් යැපෙන අතර ඔහු බොයෝ පාරිසරික වෙනස්කම්ද සිදු කරයි. මේ නිසා මිනිසාද පරිසරයේ කොටසක් වෙයි. කෘතිම වස්තූන් හා පවත්වන ඇසුරට වඩා මිනිසා විසින් පරිසරය සමග පවත්වන ඇසුර සුවදායක වූවකි. පරිසරයේ පවතින සමතුලිතතාවය බිද දමනුයේ මිනිසා විසිනි. මිනිසාගේ මැදිහත්වීමෙන් අද වන විට පරිසරයට සිදු වී ඇති හානිය ඉතාමත් විශාලය. නියගයන්, කුණාටු, ගංවතුර, සුළි සුළං, සුනාමි, නාය යෑම් වැනි අවශ්ථා හේතුවෙන් පරිසරයේ තුල්‍යතාවය බිද වැටේ. එමෙන්ම වායු ගෝලය උණුසුම් වීම, කාලගුණික වෙනස්වීම් ආදී හේතූන් මතද පරිසරය කාලයත් සමග වෙනස් වේ. මිනිසා වසර දහස් ගණනක් තිස්සේ තම ප්‍රයොජනය උදෙසා නිවාස, මංමාවත්, උද්‍යාන ගොඩ නගමින් හා ස්වභාවික පරිසරය ප්‍රයොජනයට ගනිමින් පරිසරය තම ජීවිතයට ඈදා ගත්තේය. මෙම තත්ත්වය කාලයක් පුරාවට එක දිගට සිදු වීමෙන් ක්‍රමයෙන් වත්මන වන විට ස්වාභාවික පරිසරය කෘතිමව නිර්මාණය කිරීමට මිනිසාට සිදු වී ඇත.

                                             සෑම ජීවී කොටසක්ම අන්‍යෝන්‍යය වශයෙන් ඔවුනොවුන්ගේ පරිසරය හා බැදී සිටින අතර පරිසරය සියලුම ජීවී කොටස් සමග බැදී සිටී. මනුෂ්‍යයන්ද තම පරිසරය ක්‍රියාකාරී ලෙස වෙනස්කම්වලට භාජනය කරති.එහෙත් ඒ අතරතුර අවාසනාවන්ත ලෙස වැව් හා දිය පාරවල් දූෂණ තත්ත්වයන්ට පත් කරමින් ජනපද හා කෘෂිකර්මයට ඉඩ සැලසීම සදහා වනාන්තර එළි පෙහෙළි කර ඇත. එමෙන්ම අපගේ රටට අනන්‍ය වූ සාම්ප්‍රදායික ශාක හා භෝග විශේෂයන් යොදාගෙන තිබේ. වර්තමානයේ පරිසර ගැටලු රාශියක් ඇති වීමට හේතුව වී ඇත්තේද මිනිසා ය. මිනිසා පරිසරය ප්‍රයෝජනයට ගන්නා ආකාරය අනුව මෙම ප්‍රශ්න උද්ගත වී ඇත. මෙවන් ප්‍රශ්න ඈත අතීතයේ නොතිබුණ ද අද වන විට මෙම තත්ත්වයන් ඇති වීමට හේතු සාධක කිහිපයක් බලපා ඇත.  

1ග       විද්‍යාවන්ගේ හා තාක්‍ෂණයන්ගේ දියුණුව

2ග       නාගරීකරණය ශීඝ්‍රයෙන් දියුණු වීම

3ග       කාර්මීකරණය

4ග       නූතන ආර්ථික චින්තන ක්‍රමවල ඇති අඩුපාඩු

            

         මෙසේ බලන කල පරිසරය හා මිනිසා අතර තිර වූ බැදීමක් පවතින බව වැටහේ. එය පරිසරයේ ස්ථීර පැවැත්මට මෙන්ම පරිසරයේ විනාශයටද බලපැවැත්වෙන බව දැකගත හැකිය. ඈත අතීතයේ පටන් මිනිසා හා පරිසරය අතර පැවති සබැදියාවේ මෙම තත්ත්වය ජීවයේ පැවැත්ම පවතින තුරාවටද පවතින්නකි. මන්දයත් මිනිසා හා පරිසරය යනු එකිනෙකින් වෙන් කල නොහැකි වූ සංසිද්ධින් බැවිනි.



ගෙවීගිය කාලය තුල ලාංකීය පරිසරයේ වූ වෙනස්වීම්



               වත්මන් ලාංකීය පරිසරය පිළිබද සොයා බලන කල අද හිමිව තිබෙන පරිසරයේ වෙනස්කම්වලට බලපානු ලබන බොහෝ කරුණු කාරනා දැකගත හැකි ය. පසුගිය සියවස තුළ මෙරට සිදු වූ බොහෝ තත්ත්වයන් ප්‍රධාන වශයෙන්ම බලපානු ලැබුවේ පරිසරයට ය. පරිසරයේ පැවැත්ම මිනිසාගේත් පැවැත්ම වුවද එකී මිනිසාම මෙකී පරිසරය විනෘශ කිරීමට නොදැනුවත්ව හෝ සම්බන්ධ විය. ගෙවීගිය කාලය ශ්‍රීලංකාවට සෑම අතින්ම කරදරකාරී යුගයක් විය. මෙකී කාල සීමාව තුල සෑම අංශයකින්ම ලංකාවට පාඩු සිදු විය. පරිසරය තුලද මෙම තත්ත්වය හ් ආකාරයෙන්ම පැවතිණි.

               “ශ්‍රී ලංකාව කවදත් හරිත ආර්ථික පිළිවෙතක් ඔස්සේ ගමන් කළ හා ගමන් කරමින් සිටිනා රටකි. මෙරටේ සභ්‍යත්වය වර්ධනය වූයේත් සංස්කෘතිය පෝෂණය වූයේත් පරිසර හිතකාමී මානසික වාතාවරණයක් තුළ ය. ධරණීය සංවර්ධනය ය නැමති ගරු ගාම්භීර සංකල්පවල එල්ලී සිටින නවීන පරිසර පඬිවරුන්ට පෙර සිටම මෙරටේ ජනතාව පරිසරයට ආදරය කළේ ය. ගහක අත්තක් තබා කොළයක් කැඩීමටත් පවා මැලිකමක් දැක්වී ය. වනාන්තර, ජලය සතා සීපාවුන් ආදී සියල්ලන්ටම ඔවුහු අසීමිත ලෙස ගොවිතැනට ආදරය කළේ ය. වනාන්තර සුරැකිනි, කලට වැසි ලැබුණි ගොවිතැනට දියවර වැටුණි. බත බුලතින් රටම සරු විය.” මේ පරිසරයට ආදරය කල ඇත්තන්ගේ අතීත කතාවයි. නමුදු අද අපි තාක්‍ෂණයේ හා නවීන විද්‍යාවේ යෝධ පිම්ම පනිනවා යැයි පවසමින් රටේ සම්පත රටේ අනාගතය හා ආරක්‍ෂාව වන පරිසරය කෙළෙසමින් ගමන් කරයි.

                        පසුගිය කාලය තුල මෙරට සිදු වූ විවිධ තත්ත්වයන් පිළිබද බලන කල රටේ පාරිසරික තත්ත්වයට බලපානු ලැබූ ප්‍රධානතම කාරණාවක් ලෙස උතුරු නැගෙනහිර වන විනාශය දැක්විය හැකි ය. එදා සශ්‍රීකත්වයෙන් අනූන වූ ප්‍රදේශයක් ලෙස උතුරු නැගෙනහිර පෙන්වාදිය හැකිය. ජගයෙන් පිරුණු වැව් අමුණු මෙන්ම ඒවායෙන් පෝෂණය වන කුඹුරු යායවල්ද එමට ය. වනාන්තරවලින්ද ගහන වූ උතුරු නැගෙනහිර පළාතේ එම තත්ත්වය වෙනස් වීමට බලපානු ලැබූ ප්‍රධානතම සාධකය වූයේ යුද්ධය යි. යුධමය තත්ත්වයත් සමග ඇති වූ පාරිසරික විපර්යාසයන් මෙතෙකැයි කියා නිම කළ නොහැකි ය. යුද්ධය එදා ජයගනු ලැබුවද අද වන තෙක් වැනසුනූ පරිසරය ගොඩ නැගීමට නොහැකි වී ඇත.

                                   උතුරු නැගෙනහිර වන රක්ෂිත විනාශ වීම අද වන විට සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. යුධමය තත්ත්වය මුවාවෙන් සිදුවන විනාශකාරී ක්‍රියාවන් මේ තුළ ප්‍රමුඛ වී ඇත. මෙම සියලු වන විනාශයන් සිදුකරන්නේ සියලුනීති රීති හා අන පනත්වලට පටහැනිවය. මෙම හා පරිමාණ වන විනාශයන් හේතුවෙන්

1  වැව් හා ගංගාවල ජල පෝෂක ප්‍රදේශ අහිමි වීම

2  අලි ඇතුන් ඇතුළු සතුන්ට වාසස්ථාන අහිමි වීම
3  අලි මිනිස් ගැටුම් ඇති වීම

ආදී වූ බොහෝ ප්‍රශ්න ගැටලු මතු වී ඇත.

                                    එමෙන්ම නැවත පදිංචි කිරීමේ වැඩ සටහන ඔස්සේ සිදු කරන ක්‍රියාවන් නිසා වනාන්තර අක්කර ගනනින් විනාශ කරනු දැකිය හැකි ය. තවද බිම් බෝම්බ හේතුවෙන් ඇති වූ ගිනි ගැනීම් නිසා පාරිසරික වශයෙන් වූ විනාශය ඉමහත් ය.

                 පසුගිය දශක කිහිපය තුළ ඊනියා සංවර්ධනයේ මුවාවෙන් මෙරට ස්වභාවික පරිසරයටත් නිර්මිත පරිසරයටත් ජන ජීවිතයටත් සිදු වී ඇති හානිය අති ප්‍රබල ය. විශාල ව්‍යාපෘති නිසා මෙරට ජෛව විවිධත්වයට, පාරිසරික සමතුලිතතාවයට සිදු වී ඇති තර්ජන බොහෝ ය. මෑත කාලයේ මෙම කුඩා දිවයින තුළ කරනු ලැබූ සියලුම දේ මහා පරිමාණ ව්‍යාපෘතීන් ය. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය මෙරට පරිසරයට කළ විනාශය බොහෝය. මෙයට කැපකළ සම්පත් හා සසදන කළ ඊට සරිලන ප්‍රථිපල අත් වී නොමැත. මෙයට කදිම නිදසුනකි මෙය, “වික්ටෝරියා ජලාශය 1996 න් පසු නැවත මුළුමනින්ම පිරී ඇත්තේ 2006 දී ය. වසර 10 ක් තිස්සේ වික්ටෝරියා ජලාශය පිරවීම සදහා ජලය තිබි නොමැත.”

                          මෑත කාලයේ මත්තල ගුවන් තොටුපළ ව්‍යාපෘතිය, මොරගහකන්ද සහ කළු ගඟ යෝජනා ක්‍රමය, දක්‍ෂිණ අධිවේගී මාර්ගය, උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආදී ප්‍රබල ව්‍යාපෘතීන් මෙරට ජෛව විවිධත්වයට හා ස්වභාවික පරිසරයට කර ඇති හානිය අති මහත් ය. තවද ලංකාව තුල සිවු දිගින් ඇසෙන්නට ගත් තවත් ප්‍රබල පාරිසරික ගැටලුවක් ලෙස කුණු ප්‍රශ්නය දැක්විය හැකි ය. එපමණකින් නොනැවතී ජල මූලාශ්‍ර විනාශ කරමින් හානීන්ගේද වැඩි වීමක් විනා අවමයක් දැකිය නොහැකි ය. රටේ දියුණුව සංවර්ධනය යැයි පවසමින් සිදු කරන්නා වූ ක්‍රියාදාමයන් හේතුවෙන් ලංකාවේ ස්වභාවික ස්ථානයන් මුලිනුපුටා දැමීදක් වත්මනේ දැකගත හැක. මෙයට කදිම නිදසුනකි කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය තැනීම. මද වර්ෂාවටත් ගං වතුරට යට වීම ශ්‍රී ලංකාවේ වත්මනේ සුලභ දසුනක් බවට පත්ව ඇත. එපමණක් ද නොව නාය යෑම්, සුනාමි තත්ත්වයන්ගේ ද සීඝ්‍ර දියුණුවක් පවතී.

                       මෙවන් වූ සුවිශාල ක්‍රියාදාමයන් මෙරට පරිසරය විනාශ කරමින් කරනු ලබන රටේ අනාගතය විනාශ කිරීමකි. එහිදී වනාන්තරද, ජලයද එසේත් නැතහොත් ස්වභාවික වෙරළ තීරයද යන්න කිසිවකුට අදාළ නොමැත. ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ රට සංවර්ධනය කිරීම ය. ස්වභාවිකත්වය වනසා දමමින් කරන්නා වූ ක්‍රියාදාමයන් සංවර්ධනය ලෙස හැදින්වීම සුදුසු වන්නේද යන්න ගැටලු සහගත ය. මෙවන් තත්ත්වයක් තුළ ලාංකීය පුරවැසියකු අප මේ පිළිබද එක්වරක් නොව දස දහස් වාරයක් මේ ගැන සිතා කටයුතු කුරීමට කාලය එලඹ ඇත.



  වත්මන් ශ්‍රී ලංකාවේ පරිසර විනාශය හේතුවෙන්  පැන නැගී ඇති ගැටලු



               වත්මන වන විට ශ්‍රී ලංකාව විවිධ වූ ආපදා තත්ත්වයන්ගෙන් ගහන වූ රටක් බව ලොවම දන්නා කරුණකි. මෙකී ආපදාවන් ස්වභාවික ආපදා ලෙස අප හැදින්වුව ද මෙම සියලු තත්ත්වයන් ස්වභාවිකද යන්න ගැටලුවකි. මන්දයත් මෙම ගැටලුවලට අඩිතාලම මිනිසා විසින් දමනු ලබන බැවිනි. වර්ෂ 1882 වන විට ලංකාවේ වනගහනය 82% ක් පමණ විය. වැඩිවන ජන ගණත්වයත් සමඟ අදවන විට සමස්ත වනාන්තර ප්‍රමාණය මූළු භූමි ප්‍රමාණයෙන් 17% ක් පමණ වේ. මෙය මෙසේ වුවද නැවත වගා නොකරන බිම් ප්‍රදේශද වැඩි වෙමින් පැවතීම මෙයට බලපා ඇත.

                               මෙරට පවතින ප්‍රධානතම  පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත්තේ වන විනාශය යි. මෙම වන විනාශය මෙරටට දායාද කර ආපදා තත්ත්වයන් බොහෝ ය. දේශගුණික විපර්යාසයන්අවම කර ගැනීම උදෙසා පළමුව කළ යුතු කාර්යය නම් පරිසරයේ නැවත නිෂ්පාදන හැකියාව ආරක්ෂා කර ගනිමින් පොළවට දරාගත නොහැකි සංවර්ධනයන්ට වනාන්තර බිලි දීම නැවැත්වීම යි. වන විනාශය හේතුවෙන් ඇති වන්නා වූ අස්ථාවර වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් ජල ගැලීම් ඇති වීම සිදු වේ. වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ගැටලුවක් බවට මෙම නායයෑම්, ජල ගැලීම් පත්ව ඇත. නිරිත හා ඊසාන දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ ඇතිවන වර්ෂාපතතනය මෙරට ගංවතුර ඇති කිරීමට හේතුව වන බව බොහෝ අයගේ මතය වුවත් එය සත්‍ය ද යන්න මදක් සිතා බැලිය යුතු ය. මෙකී වර්ෂාව මෙරටට ලැබෙන්නට ගත්තේ අද ඊයෙක නොව එදාත් අද මෙන්ම මෙකී තත්ත්වය පැවතියද අද වන ආපදා තත්ත්වයන් එකළ සිදු නොවී ය.

                            ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන කටයුතු සිදු වුවත් ඒ සමඟ ඇති වන පාරිසරික ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් කිසිදු වැඩ පිළිවෙලක් සකස් කර නොමැත. පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාවත් සමඟ අගනුවර සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර සාමාන්‍ය වැස්සකදී පවා කොළඹ ඇතුළු ප්‍රදේශ ජලයෙන් යට වීම සුලභ වූ දසුනකි. පසුගිය දින කිහිපය තුළ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඒ දෙපස පිහිටි ප්‍රදේශද ජලයෙන් යට විය. මෙකී තත්ත්වයට කාණු අවහිර වීම, සංවර්ධනය, ඉදිකිරීම් කටයුතු හා ගංඟා පිටාර ගැලීම ආදී කරුණු බලපානු ලබයි. කැලණි ගඟ පිටාර ගැලීම යේතුවෙන් කැලණියට ගංවතුර ඇති වූවා මිස එය වැස්ස නිසා ඇති වූවක් නොව. මෙහිදී බලපා ඇති ප්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ ජලය බැස යාමට නිසියාකාර ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිම යි. සුනාමියට පමණක් දෙවැනි වූවක් ලෙස මෙම වර්තමාන ගංවතුර තත්ත්වය පෙන්වාදිය හැකි ය. ගාල්ල, මාතර, හම්බන්තොට, නෙළුව, හිනිදුම, තවලම, උඩුගම, ඇල්පිටිය ආදී ලංකාවේ බොහෝ ප්‍රදේශ පසුගිය දිනවල ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් ජලයෙන් යට විය.

                  වන විනාශය හේතුවෙන් මෙරට ඇති වී තිබෙන වත්මනේ නවතම තත්ත්වය වනුයේ නාය යෑම් පස් කදු කඩා වැටිම ආදී වූ විපත් ය. නාය යෑම යනු විශාල ප්‍රදේශයක පොළව සෙලවීමෙන් ඇතිවන සංසිද්ධියකි. මෙම ක්‍රියාවලියට බොහෝ සෙයින් බලපානු ලබනුයේ ගුරුත්වාකර්ෂණයයි. නමුදු මෙයට බලපාන තවත් සාදක රාශියක් පවතී. ඒ අතරින් මිනිස් ක්‍රියාකාරකම් ප්‍රමුඛ තැනක් ගනු ලබයි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් 10 ක්ම නායයෑමේ තර්ජනයට මුහුණ පා සිටි යි. වනාන්තර විනාශ කිරීම නායයෑමේ ක්‍රියාවලියට බොහෝ සෙයින් බලපානු ලබ යි. ජන සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වීමත් සමග ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා වන විනාශ කරනු ලබයි. පසෙහි ඒකාකාරී බව පවත්වා ගනුයේ ශාකවල මුල් මගිනි. එහෙත් වන විනාශය නිසා පසෙහි බෑවුම්වල ස්ථාවරභාවය අඩු වී පස අස්ථාවර වේ. එම තත්ත්වය මත වැස්ස ලැබිමත් සමග පස බුරුල් වී ගැලවී යාමක් සිදු වේ. එමෙන්ම සීඝ්‍රයෙන් ජනගහනය වැඩි වීමත් සමග භූමිය හීන වීම නිසා කදුකර ප්‍රදේශවල නිවාස සෑදීමට මිනිසුන් පෙළඹිණි. මේ හේතුවෙන් නායයෑම් බහුල වේ. තවද කෘතිමව සිදු කරන ගල් පිපිරවීම් ද මෙකී නායයෑම්වලට ප්‍රබලතම හේතුවක් වේ. අවිධිමත් වගා ක්‍රම හා අනුචිත වගාවන් නිසා ජලය ගලා යාමට බාධා ඇති වේ. නුවරඑළිය, බදුල්ල, රත්නපුර, කෑගල්ල, මාතලේ, කලුතර, මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට ආදී ප්‍රදේශ නායයෑමේ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රදේශ අතර ප්‍රමුඛ වේ.

               දැනට වාර්තා වී ඇති දත්ත වලට අනුව මෙම ශතවර්ෂය ආරම්භයේ එනම් මුල් දශක හය තුළ විශාල නායයෑම් 6ක් ඇති වූ අතර ඊට පසුව 1981-1986 දක්වා වර්ෂ 6 තුළ විශාල වශයෙන් නායයෑම් 4 ක් ඇති විය. 1989 ජූලි මාසයේදී තවත් විශාල නායයෑමක් සිදු විය. එතැන් සිට සෑම වර්ෂයකම ඒ ආකාරයේ නායයෑම් ඇති විය. මෑතකදී සිදු වූ මීතොටමුල්ල කුණු කන්ද නායයෑම ප්‍රබල ස්ථානයක් ගනී. එයට ප්‍රධානම හේතුව වූයේ ද මිනිසාගේ අක්‍රමවත් ක්‍රියා කලාපයයි.

                             වන විනාශය අද වන විට මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන ජලයට ද ප්‍රබල බලපෑමක් කර ඇත. මෙහි දී පරිසරයේ තිබෙන පිරිසිදු ජල මූලාශ්‍ර නැති වේ. පිරිසිදු ජල පෝෂක ප්‍රදේශ නැති වීම බොහෝ ගැටලුවලට මුලය. මෙසේ බලන කල ශ්‍රී ලංකාව වත්මනේ පවතිනුයේ දරුණු වූ ප්‍රශ්නයකට මැදිවය. මෙම සියලු ගැටලුවලට බලපානු ලබනුයේ එක් සාධකයකි. එනම් පරිසර විනාශයයි.





                                   පරිසර දූෂණය

               

           ස්වභාවික පරිසරයේ අංගයන්ට අහිතකර බලපෑමක් එල්ලවන ආකාරයට පාරිසරික තුල්‍යතාවය බිද වැටීම පරිසර දූෂණය වේ. පරිසරයේ වෙසෙන ජීවීන්ට හා පුද්ගලයාට හානිදායක අයුරින් විවිධ වූ ද්‍රව්‍යයන් නැතහොත් ශක්තීන් පරිසරයට මුදා හැරීම මගින් පරිසර දූෂණයට මඟ පෙන්වයි. ශබ්ද දූෂණය, තාප දූෂණය, රසායනික ද්‍රව්‍ය එක් වීමෙන් ඇත්වන දූෂණය, ජල දූෂණය,වෙරළ දූෂණය ආදී විවිධ ආකාරයෙන් පරිසර දූෂණය සිදුවන අයුරු දැකගත හැකි ය. පරිසර දූෂණයේ ප්‍රමුඛයා වන්නේ මනසින් උසස් යැයි අප හදුන්වන මිනිසාම ය. මෙකී පරිසර දූෂණය පරිසරයේ සෑම අංශයක් කෙරෙහිම බලපායි. එනම් මිනිසා විසින් සාදන ලද පද්ධතිවලට හෝ ස්වභාවික පද්ධතිවලට මෙය බලපානු ලබ යි. පරිසර දූෂණය ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය.

  

     ජල දූෂණය

           ජලය හුදෙක් මිනිසාට පමණක් අවශ්‍යය වන්නා වූ සම්පතක් නොවේ. මිහිපිට සෑම අංශයකටම බලපවත්නා වූ ප්‍රබලතම සාධකයකි ජලය. පරිසරයේ ජලයේ පැවතීම විවිධාකාරය. මතුපිට ජලය, භූගත ජලය, ජල වාෂ්ප, මිදුණු ජලය, කරදිය, මිරිදිය ආදී වශයෙන් ජලය පවතියි. ජලය දූෂණය වූ විට එහි පවතින වර්ණය වෙනස් වී ගන්ධයක් හා රසයක්ද එයට එක් වේ. වත්මන් ලංකාව තුළ ජල දූෂණය ප්‍රධානතම පාරිසරික ගැටලුවක් බවට පත්ව හමාර ය. මෙකී කාරණාවට මිනිසාගේ ප්‍රබල දායකත්වයක් හිමි වේ. ප්‍රධාන වශයෙන් ජල දූෂණයට හේතු සාදක කිහිපයක් බලපානු ලබයි.

-      කර්මාන්ත ශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය ජල මාර්ග න්‍ලට යොමු කිරීම

-      පොලීතීන් ආදී නොදිරන ද්‍රව්‍ය ජලයට එක් කිරීම

-      කෘෂි රසායනික භාවිතය

-      සුපෝෂණය ඇති වීම

-      වරාය අවට තෙල් නැව් වලින් සිදුවන අනතුරු

             වත්මන් ලංකාව තුළ ජල දූෂණය පිළිබද වාර්තා වූ ප්‍රබලතම සිද්ධිය වනුයේ රතුපස්වල වූ සිදු වීමයි. එහිදී ජලයට එක් වූ රසායනික ද්‍රව්‍යය හේතුවෙන් ඉමහ් ආන්දෝලනයක් සිදු විය. ප්‍රධාන වශයෙන් කොළඹ අවට ප්‍රදේශයන්හි ජල දූෂණයේ ප්‍රවනතාවය ඉහළ මට්ටමක පවතී. එයට ප්‍රමුඛතම හේතුව වී ඇත්තේ ඔවුන් විසින් අපද්‍රව්‍යය බැහැර කිරීමේ මාර්ගය ලෙස ජලය යොදා ගැනීම යි.



  ශබ්ද දූෂණය

             පරිසර දූෂණයේ තවත් එක් පැතිකඩක් ලෙස ශබ්ද දූෂණය පෙන්වා දිය හැකි ය. සාමාන්‍ය පරිසරයේ ඇතිවන ශබ්දයන් හේතුවෙන් ජීවීන්ට හෝ අන් කිසිදු දෙයකට හානි නොපැමිනේ. නමුත් මෑත කාලායේ මිනිසාගේ මැදිහත් වීමෙන් මිනිසා විසින් ඇති කරන ශබ්ද දරා ගැනීමට අපහසු තත්ත්වයක් උද්ගතව ඇත.මෙය ශබ්ද දූෂණය ලෙස පෙන්වාදිය හැකිය. කර්මාන්තශාලාවල ක්‍රියාකාරිත්වය, වාහන අධික වීම, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ආදිය වත්මන් ලංකාවේ ශබ්ද දූෂණයට බලපාන්නා වූ ප්‍රධානතම හේතු සාධකයකි.




ගොඩබිම දූෂණය
                   ගොඩබිම දූෂණය යනු, ප්‍රධාන වශයෙන් අප ජීවත් වන්නා වූ මහ පොලවට සිදු වන්නා වූ හානිදායක තත්ත්වයන්ය. මෙය ප්‍රධාන වශයෙන්ම කතා කරනුයේ පස හා සම්බන්ධවයි. පසේ ව්‍යුහය හා රසායනික ද්‍රව්‍යවල ඇති වන වෙනස් වීම හේතුවෙන් පස දූෂණය වේ.වත්මන් ලංකාවේ මෙකී තත්ත්වය සුලබ දසුනකි.පසේ ලවණතාවය වෙනස් වීම, දිරාපත් නොවන ද්‍රව්‍යන් පසට එකතුවීම, විෂ රසායන පසේ එක්රැස් වීම, පසේ ජල පරිමාව වෙනස් වීම, පාංශුඛාදනය ආදි හේතූන් මත ගොඩබිම දූශණය සිදු වේ.ලංකාව තුල වර්ථමානයේ මෙම තත්ත්වය දුවුන්ත වශයෙන් දැකගත හැක. මිනිසාගේ අක්‍රමවත් ක්‍රියා පටිපාටිය නිසා එහි අහිතකර ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වන්නේ මිනිසාටමය. මෙකී සංසිද්දියට කදිම නිදසුනකි මීතොටමුල්ල කන්ද නාය යෑම. අක්කර ගණනාවක ව්‍යාප්තව පැතිර තිබූ මෙම කුණු කන්ද හේතුවෙන් පස නිසරු වී පසේ සවිමත්බාවය අඩු විය. මේ හේතුවෙන් නායයාමට ලක් විය. කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල පවතින්නා වූ සීමිත ඉඩකඩ හේතුවෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමට විධිමත් ස්ථානයක් නොමැත.එවන් ස්ථාන පැවතිය ද අපද්‍රව්‍ය බැහැර කිරීමට විධිමත් ක්‍රියා පටිපාටියක් නොමැති වීම හේතුවෙන් මෙවන් ආපදාවන්ට මුහුණදීමට සිදු වේ. මෙයට තවත් එක් නිදසුනක් ලෙස බ්ලූමැන්ඩල් කුණු කන්ද පෙන්වා දිය හැකිය. මේ අනුව නොදිරන ද්‍රව්‍ය භාවිතයෙන් පරිසර දූෂණය වෙනවා පමනක් නොව එම තත්ත්වයන් හේතුවෙන් සිදු වන්නා වූ ආපදා මිනිස් ජීවිතයට ද දරුනු ආකාරයෙන් බලපා ඇත.



වෙරළ දූෂණය

                         රටකට සුන්දර වෙරළ තීරයක් හිමි වීම යනූ එම රටේ දියුණුවට බලපාන එක් ප්‍රධාන අංගයකි. ශ්‍රී ලංකාව යනු එහි හිමිපෙත්තේම සිටින රටකි. නමුදු වත්මන වන විට එම තත්ත්වය පූර්ණ වශයෙන් ම වෙනසකට බඳුන් වී ඇත. අද ලක් වාසීන්ටවත් දැක බලා ගැනීමට වෙරළක් නොමැති තරම් ය. ඒ මන්දයත් වෙරළ දූශණය අද මිනිසාගේ එක් අංගයක් බවට පත් ව ඇත. රටේ පවතින කැලි කසල බැහැර කිරීමේ මධ්‍යස්ථානය බවට අද වෙරළ යොදාගෙන ඇත. එපමණක් ද නොව මුදල් තණ්හාව හේතුවෙන් සිදු කරන්නා වූ කොරල්පර විනාශය ද මෙකී වෙරළ දූශණය කිරීමට බලපාන්නකි. අනවසර ඉදි කිරීම් ද මෙයට තවත් හේතුවකි. එමෙන් ම ස්වභාවිකත්වය වනසමින් කරන්නා වූ විවිධ ව්‍යාපෘතීන් හේතුවෙන් ද වෙරළදූශණය සිදු වේ. මෙයට කදිම නිදසුනකි කොළඹ ඉදි කෙරෙමින් පවතින වරාය නගරය. දැනට කලකට ප්‍රථම වෙරළට බැස රළ පාගා විනෝද වීමට තිබූ අවස්ථාව අද වන විට එසේ පැවතියේද යන්න පවා සිතිය නොහැකි තරමට වෙරළ ඛාදනය වී ඇත. එක් පසෙකින් දියුණුව, සංවර්ධනය යැයි පවසමින් කරන්නා වූ ක්‍රියාවන් හේතුවෙන් ස්වභාවිකත්වය අහිමිව සංවර්ධනයේ එක් පැතිකඩක් වූ සංචාරක කර්මාන්තය ද විනාශ මුඛයට ගොස් හමාරය. මෙකී බොහෝ තත්ත්වයන්ට අද වෙරළ දූශණය පත්ව ඇත.


වායුගෝලීය දූෂණය

                            මිනිසාගේ පැවැත්ම රඳා පවතින්නේ වායු ගෝලයේ පැවැත්ම මතය. නමුදු වර්ථමානයේ පරිසර දූශණයට බලපාන්නා වූ එක් ප්‍රබලතම අංගයක් බවට වායු දූශණය පත් ව ඇත. අයිතකර වායු වර්ග වායු ගෝලයට නිදහස් කිරීම, විවිධ අත්හදාබැලීම් කිරීම, රථ වාහන භාවිතය අධික වීම, කර්මාන්තශාලාවලින් පිට වන දුම වායු ගෝලයට මුදා හැරීම ආදි හේතූන් මත වායු ගෝලය දූශණය වීම සිදු වේ. මේ හේතූන් මත මින්සාට නිදහසේ හුස්ම ගැනීමට තිබූ අවස්ථාව ද මගහැරී ගොස් ඇත.



                 පරිසර දූෂණය මේ ආකාරයට විවිධ පැතිකඩයන් ඔස්සේ සිදු වේ. මේ තුළින් වන්නා වූ අහිතකර තත්ත්වයන් සේම පැවැත්ම පිළිබද පවත්න්නා වූ විශ්වාසයද තුරන් වේ. ලංකාව තුළ වර්තමානයේ මෙම තත්ත්වය ප්‍රබලවම ක්‍රියාත්මක වේ. විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතව මෙම තත්ත්වය උග්‍ර වී ඇත.

                         


              
                                     - සදූ-



































No comments:

Post a Comment