Sunday, July 21, 2019


   රැවුල




                 හිරු පෑලදිග අහසින් බැසයන්න දෙහෝරාවක් පමණ පැවතිය ද කන්දේගම හන්දියෙන් අසංක සමඟ බස්රියෙන් බසිද්දී අවට බිම් කළුවර ද වැටී තිබිණි. හීනි පොද වැස්සත් සමඟ කතා බහකින් තොරව ගිය දෙමිතුරෝ මී අඹ ගහ අසලින් හැරි ගුරු පාර දිගේ පය ඉක්මන් කර ගියේ සිතලට දෙ අත් පපුතුරේ බැද ගෙන ය.



            හබරල කොලයකින් හිස වැස්සට මුවාකරගෙන හීනියට කවියක් මුමුණමින් ආ පුංචි අප්පු උගුර පෑදුවේ බිම බලාගෙන යන ඉලන්දාරින් දෙදෙනා ඉදිරියේ නවතිමිණි.

                      "  පුංචි අප්පු මාමේ..."

අසංක මදක් හඩ වැඩිකර කතා කරන්නට වූයේ වැස්සේ තිබුණු සිරි සිරි හඩ යටපත් කරමින් ය.

              " අපෙ අප්පේ මේ අපේ කන්දේ ගෙදර පුතණ්ඩිය නේද....

පුංචි අප්පු මාමා උත්තර බැන්දද ඔහුගේ දෙනෙත පැවතියේ අසංක අසලින් තවමත් බිම බලාගෙන සි󠇭ටින සසිදු කෙරේ ය.

                    " ඔව් මාමේ... ගෙදර එන ගමන්.  කාලෙකින් ගෙදර එන්නත් බැරි වුණානේ....”

 අසංක එසේ පැවසුවද ඒ ගැන වගක්වත් පුංචි අප්පු මාමා වෙත නොවීය. ඔහු තවමත් සිටිනුයේ සසිදු දෙස නුහුරු බැලුම් හෙළමිණි

                           "වැස්ස තද කරන්න ඉස්සර යන්නම් එහෙනම් මාමේ..."

අසංක නැවතත් පැවසුවේ හීන් අප්පු මාමාගෙන් කිසිම ප්‍රතිචාරයක් නොළද බැවිනි.

                   තමා පසුකර යන ඉලන්දාරි දෙදෙන දෙස මදක් නැවතී බලා සිටි පුං󠇭චි අප්පු ආපසු හැරී යන්නට වූයේ කණ අසලින් ගලා ගිය දිය බිංදුව ද වමතේ දබරැගිල්ලෙන් පිස දමන ගමන් ය.



                    " අසංක යා ...."

                    "ම්ම්ම්ම් "

                       "ඒ සීයා අන්කල් ඇයි එහෙම...."

         මෙතෙක් බිම බලාගෙන කතා කරමින් ආ අසංක හිස ඔසවා බැලුවේ ඔහු පැවසූ දේ අඟ මුල තේරුම්ගත නොහැකි වූ බැවිණි..

                " උඹ මොනව ගැනද කතා කරන්නෙ සසිදුවා..."

                " දැන් අර මීට් වුණ අන්කල් සීයා ගැන බන්...." 

                 "ඔව් ඉතින්..."

             " නෑ ඒ සීයා අන්කල් මම දිහා බලපු විදිය හරි අමුතුයි වගේ නේ ද..." 

            "මේ ගම මචං..., උඹ ඉපදුණෙ ලංකාවෙ" ඉගන ගත්තේ කැනඩාවල හැබැයි මේ ගම..."

            " ගම උඹට නුහුරු තැනක්..."

                  "ගමේ මිනිස්සු ඔහොම තමයි..."

අසංක එසේ කීවේ තම මිතුරාගේ හිසට ද තට්ටු කරමින් ය.

           " අනික සසිදුවා පුංචි අප්පු මාමා තමයි ගමේ නිල මාධ්‍ය වාර්තාකරු..."

ඔහු කී දෙයෙහි අදහස තේරුම්ගත් සසිදු අසංක පරයා මහ හඩින් සිනහ නගන්නට විය.

             

                               එතැන් පටන් පුංචි අප්පු මාමාගේ ජීවන කතන්දර ගැන කියමින් ගමන් කළ මිතුරන් දෙදෙනා නිවසට පැමිණෙන විට හතර වටින්ම කළුවර අරක් ගෙන තිබූණි. ඇගපත සෝදාගත් මිතුරන් දෙදෙනාට බඩ ගින්දර මතක් වූයේ අසංකගේ මව කන්නට කතා කළ පසු ය.

                       " අනේ පුතේ මේ දරුවට අපේ කෑම හොදද මන් ද..."

අසංකගේ මව කීවේ දෙදෙනාටම කෑම බෙදන ගමන් ය. සසිදු එයට කිසිවක් නොකීව ද ඔහු කවදත් අසංකගේ මවගේ කෑමවලට දක්වනුයේ ඉමහත් ආසාවකි. කතා බහකින් තොරවම ඔහු රාතී ආහාරය බඩ පුරා ගත්තේ එබැවිනි.

                   ෙමාකද මාගේ අතිජාත හිතමිත්‍රයට මහන්සි ද...?

අසංක ඇසුවේ ඇදේ කොණට වී සිටින තම මිතුරාගේ හිස රැදි කොට්ටය ඉවතට අදින ගමන් ය.            

           "ටිකක් විතර... හැබැයි වෙහිකල් එකේ නැතුව මෙහෙම බස් එකේ ආපු එකෙත් පොඩි ආතල් එකක් තියෙනව බන්..."

        අසංකට තම මිතුරා ගැන අපමණ සෙනහසක් දැණුණි- සියලු සැප සම්පත් මැද හැදී වැඩුණ ද ඔහුගේ ගතිගුණ කවදත් එක වාගේ ය- වෙනසකට පවතින්නේ හැසිරීම් රටාව හා පෙනුම පමණි- විලාසිතා කිරීමට ඉමහත් රුචියක් දැක් වූ සසිදු තම විලාසිතාවන්ගෙන් වැඩි වශයෙන් ආදරයෙන් බලා ගත්තේ තම රැවුලය.  කෑම බීම නොගත්තද ඔහු තම රැවුලට සාත්තු සප්පායම් කිරීමට අමතක නොකළේ ය.

           "ඔයා හිතනවද යශෝදා අපේ පුතා එහෙම යාළුවෙක් ගෙදර එක්කරගෙන ඒවි කියල... අනික පුතා කවදාවත් එහෙම දරුවෙක් ගැන කියලවත් නෑනේ..."

අඩ නින්දේ සිටි අසංකට තම පියාගේ කටහඩ ඇසුණද ඔවුන්ගේ කතාවේ කිසිවක් හරිහැටි නොතේරිණි. ගමන් මහන්සිය නිසාම උදෑසන තම පියා සමඟ කතා කිරීමේ අරමුණ ඇතිව ඔහු නැවතත් ඇදේ අනෙක් පසට හැරී නිදන්නට විය.



                   පුරුද්දට දෝ වෙනදා මෙන් අසංකට උදෑසන හතයි තිහ වන විට ඇහැරුණේ ය. ඒ වන විටත් සසිදු සිටියේ සැප නින්දකය. කුස්සිය දෙසින් මවගේ සහ පියාගේ  කටහඬ ඇසුණ බැවින් අසංක කුස්සිය වෙත ඇදුණේ තේ එකක් රැගෙනම පැමිණ සසිදු ඇහැරවීමට සිතාගෙන ය.

             

                "පුතා උදෙන්ම ඇහැරලනේ..."

යශෝදා පැවසුවේ තම සැමියාට තේ එක පිළිගන්වන ගමන් ය.

              " ඔව් අම්මා.., වෙනදා පුරුද්දට අදත් ඇහැරුණා.."

                  "ෙකා් අර දරුවා..."

                 "මහන්සිය නිසා වෙන්නැති... තාම සැපට නිදි..."

 අසංක කීවේ ජෝගුවේ තිබුණ වතුර වීදුරුවට දමා කට සෝදා විසි කිරීමෙන් පසුව ය.



                 "පුතා පොඞ්ඩක් මෙහෙන් වාඩි වුණානන්..., මට පොඞ්ඩක් කතා කරන්න ඕන..."

ආපසු කාමරයට යාමට ගිය අසංකට විමලරත්න පැවසුවේ තම බිරිඳ දෙසද බලමිණි.

                   "අැයි තාත්තා..."

අසළ තිබූ පුටුවේ අසංක වාඩි වූයේ තාත්තාගේ මුහුණේ රැදී තිබූණ බැරෑරුම් පෙණුම තේරුම් ගැනීමට උත්සාහ කරමින් ය.

             " පුතා අැයි ඔයා මෙහෙම දෙයක් කළේ..."

             "  ෙමාකක්ද තාත්තා..."

කිසිවක් තේරුම්ගත නොහැකි වූ අසංක තම මව දෙස බැලුවේ ඇයවත් ඒ පිළිබදව දන්නවාදැයි අසන්නට මෙනි

              "මී අඹ ගහ ගාව කඬේ ළඟ ඉන්න අර හැමෝම කතා වෙන්න ඔය ගැන..."

              "මට මේ මොනවත් තේරෙන්නෙ නෑ... තාත්තා මේ මොනව ගැනද කතා කරන්නේ..."

මදක් තම පුතු දෙස බලා සිටි විමලරත්න තේ උගුරක් බී කෝප්පය මේසය මත තබා නැවතත් තම පුතු දෙස බැලුවේ දීර්ඝ දේශනාවක් කිරීමට සූදානම් වන දේශපාලනඥයෙකු පරිද්දෙනි.

             "පුතා හොදට ම දන්නවනේ අපි ගමේ වැදගත් විදියට ජීවත් වෙන්නෙ කියල...  ඒ විතරක් නෙමේ ගමේ කවුරුත් අපිට බොහොම ලෙංගතුයි.. අනික රටේ මේ දවස්වල තියෙන්නෙත් ඒ තරම් හොද වාතාවරණයක් නෙවෙයි... හැම තැනම ජාති ආගම් කුල ප්‍රශ්න වැහි වැහැලා..."



ඵීමලරත්න කතාව මදක් නවතා තම බිරිද දෙස බැලුවේ තමා හරි නේදැයි විමසීමට මෙන් ය.

             "ඒකෙන් පුතා... ඊයේ රෑ තාත්තා ගෙදර එනකොටත් කඬේ ළඟ හැමෝම පුතාට දොස් කියනවලු..."

 යශෝදා කීවේ අසංක අසලින් තේ එක තබන ගමන් ය.

               "මම මොන වරදක් කළාට ද අම්මා එයාල මට බනින්නේ...."

අසංක තවමත් පසුවනුයේ විමතිය රැදුණ දෙනෙත් මව දෙස රදවාගෙනය...

             "මං  ෙම්පුතාට වරදක් කියනව නෙවෙයි.. පුතා හිත හොද හැමෝටම එක වගේ සලකන කෙනෙක් කියල මං දන්නවා...  ඒත් තවත් ප්‍රශ්න එන්න කලියෙන් පුතා පුතාගේ මුස්ලිම් යාළුවත් එක්ක ආයෙම ඔෆිස් එකට යන්න. මං මේ අපි හැමෝගෙම හොදට කියන්නේ...."

          විමලරත්න එක දිගට කියාගෙන ගියේ අසංකට කිසිවක් කීමට ඉඩක් නොතබමිණි.

සසිදු ආපසු හැරී කාමරයට යන්නට වූයේ  අසංක සොයා කුස්සිය දෙසට පැමිණීමෙන් අහම්බෙන් මෙන් සවන් වැකුණු මේ කතාව නිසා හිත මෙන් ම ඔළුව ද අවුල් කරගෙනය...

                 " උඹ මේ කොහෙද යන්න හදන්නෙ...."

         සිදු වී ඇති පටලැවිල්ල ලිහා ගැනීමට මඟක් ගැන සිතමින් කාමරයට ආ අසංක ඒ වන විටත් ඇද සිටි සරම ගලවා වෙන ඇදුමකින් සැරසී කණ්ණාඩිය අසළ හැඩවෙන සසිදුගෙන් ඇසුවේ පුදුමයෙන් මෙන් බලාගෙනය.

              "මචං මම ටාර් ගාල පොඩි ගමනක් ගිහින් එන්නම්..."

               "ඒක නෙමේ මේ..."

       "ඇයි මොකද..."

තමා දෙස බලා සිටින මිතුරාගෙන් අසංක විමසුවේ ය...

              "මම අන්කල්ගේ බයික් එක අරන් ගියාට කමක් නැද්ද...?

              "ඒකට කමක් නෑ... ඒත් උඹ කොහෙද යන්නේ කියපන්..."

අසංක අසන විටත් ලද අවසරයෙන් සසිදු යතුරු පැදිය මත සිට තම මිතුරාට අත වැනුවේ සුපුරුදු දගකාරීත්වය ඉස්මතු කරමින් ය.



                     ගෙයින් මිදුලටත් මිදුලෙන් ගෙටත් කලබලයෙන් මෙන් එහා මෙහා යන අසංක තම අත රැදි ජංගම දුරකතනය දෙසද බලන්නේ ඒ වන විට  සසිදු පිටව ගොස් පැයක්  පමණ ඉක්ම ගොස් තිබූ බැවිණි. බැරිම තැන ඔහු තම කාමරයට ගියේ ගමේ සියල්ලන්ට සිතින් බනිමිනි.

  මෙහි හරියාකාර අඟක් මුලක් නොදත් විමලරත්න තමා හරි හැටි කිසිවක් සොයා නොබලා තීරණ ගැනීම සම්බන්ධයෙන් සිටියේ ඉතාමත් කනස්සල්ලෙනි. මේ සියල්ලටම හේතුව මිනිස්සුන්ගේ වැරදි සංස්කෘතික ලක්ෂණයන් ය. එමෙන් ම නිවැරදි දැක්මක් නොතිබිම ය. සසිදුත් පුංචි අප්පුත් ඇතුළු සැවොම මෙයට වැරදිකාරයෝ ය. කෙනෙකුගේ පෙනුමෙන් තත්ත්වය තරාතිරම මැනිය හැකි දරෑ එමෙන් ම අද සමාජයේ කොල්ලෝ කෙල්ලන්ට ද සංස්කෘතීන් පිළිබද වගේ වගක් ද නැත. ඔවුන් සියල්ල කලවම් කරගෙන කටයුතු කිරීමට පෙළබෙයි. කවුරුන් හරිද කවුරුන් වැරදිදැයි තීරණය කිරීම ද අපහසු ය.

     විමලරත්නගේ කල්පනා ලෝකය බිදී ගියේ ඈතින් ඇසුණු තම යතුරු පැදියේ ශබ්දය ඇසීමෙන් ය.



    අසංකද කාමරයේ සිට එළියට ආවේ දුරකතනයද විසන්ධි කරගෙන මෙතරම් වේලාවක් සිටීම සම්බන්ධයෙන් තම මිතුරා සමඟ කෝපයෙන් ද යුක්තවය. එහෙත් ඔහුගේ කෝපය සැනෙකින් නිවී ගියේ පුදුමයෙන් මෙන් මුහුණට මුහුණ බලා සිටින තම මවුපියන් දෙපළ දෙස සුන්දර සිනහවකින් යුක්තව බලා සිටින කඩවසම් තරුණයා සසිදු බව දැකීමෙනි.

     නමුත් වදනක්වත් පවසා ගැනීමට නොහැකි වූ අසංකගේ මුවින් සිහින් ස්වරයෙන් පිට වූයේ එකදු වදනකි.

          "රැවුල....???"





                                                          -සදු-


No comments:

Post a Comment