සොබාදහම හා මානව සෞඛ්‍යය
ගහකොළවලින් පිරුණු උද්‍යාන හා හරිත පැහැලත් පරිසරය මනසට ඇසට ප්‍රිය උපදවන දර්ශනයකි.නාගරික පරිසරයක වෙසෙන පුද්ගලයින් පවා හැකි සෑම අවසු්ථාවකම උත්සාහ කරනුයේ හරිත පැහැගත් සථානයක රැදෙන්නට ය. නැතහොත් තම ගෙමිදුල ගහ කොළින් අලංකාරවත් කර ගැනීමට ය. මෙම තත්ත්වය භූමි දර්ශන වේදයේ දී යොදාගනු අපට දැකගත හැකි ය. ලොකු කුඩා, තරුණ මහළු, ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලුම දෙනා තම නිදහස් අවශ්තාව උද්‍යානයක් වැනි ස්ථානයක ගත කිරීමට පෙළඹී සිටී. මෙසේ වන්නේ ඇයි...?
පරිසරය යනු මිනිසාට තම මනස එකලස් කර ගැනීමට මෙන්ම ගතේ විඩාව නිවා ගැනීමට ද උපකාරී වන්නා වූ පොදු වස්තුවකි. සොබා දහම හා මානව සෞඛ්‍යය අතර ඇත්තේ ඖෂධිය ගුණයකි. හරිතවත් පැහැයකින් යුත් ස්ථානයක ජීවත් වීමට හැකි වීම හෝ නොවීම අංශ කිහිපයක් ඔස්සේ මිනිසාට බලපානු ලබයි. එනම්, සමාජීයීය හැසිරීම, මනෝ විද්‍යාත්මක හැසිරීම හා භෞතික සෞඛ්‍යයට ඇති බලපෑම යනුවෙනි. මේ අනුව පෙනෙනුයේ හරිතවත් පරිසරය සෞඛ්‍යයමත් ජීවිතයක් ගත කිරීමට බලපාන බවයි. තනි වූ පුද්ගලයකුගේ මනසට සහනයක් ලබා දෙමින් හිත නිදහස් කර ගැනීමට උදව් කරනුයේ පරිසරයයි. එමෙන් ම උදේ පටන් වැඩ කරන මිනිසාට ගතට සිසිලසක් මෙන්ම හිතට හයියක් ලබා දෙනුයේ ද පරිසරයයි. මේ ආකාරයට බලන කල පරිසරය වූ කලී මානවයාගේ සෞඛ්‍යයට ප්‍රබලතම දායකත්වයක් සපයන්නා වූ වස්තුවකි. පරිසරය හා මිනිසා අතර සබැදියාව අද ඊයෙක වූවක් නොව ඈත අතීතයේ පටන්ම මිනිසා පරිසරය හා ගනුදෙනු කරනු ලැබූයේ හිතවතකු සමග මෙනි.
මේ සා හිතවක්මක් ලබැදියාවක් දක්වන පරිසරය නැතහොත් සොබාදහම මානව සෞඛ්‍යයට වැදගත් වන්නා වූ සාධකයකි. තාක්ෂණයේ දියුණුව පැවතිය ද තාක්ෂණය මගින් කළ නොහැකි බොහෝ ලෙඩ රෝගවලට බෙහෙත් සොබාදහම ඇසුරු කිරීමෙන් මිනිසා ලබා ගත්තේ ය. ආදි මිනිසා ෂතුව වත්මනේ මෙන් දියුණූ තාක්ෂණික ක්‍රමවේදයන් නොතිබුන ද අද මෙන් ලෙඩ රෝගත් එකළ නොවී ය. පැවතියද එකී රෝගයනට බෙහෙත් ශවුන් සොයාගනු ලැබුයේ පරිසරය තුළිනි. ඔවුන්ගේ වෛද්‍යවරයා වූයේ සොබාදහමයි. එමෙන්ම පරිසරය හා තම ජීවිතය රැගෙන ගිය ආදි මිනිසා සතුව අද මෙන් ලෙඩ රෝගද නොතිබුණි. ඔවුන් ෂතුව ගුණාත්මක වූත් රසවත් වූත් පෝෂ්‍යයදායී ආහාර රටාවක් පැවතුණි. එය ඔවුන්ගේ සිරුරේ ශක්තිය රදා පැවැත්මටත්, නිරෝගී ජීවිතයක් ගෙන යාමටත් උපකාරී විය. නමුදු වත්මනේ මෙම ත්ත්වය බොහෝ සෙයින් වෙනස් වී පවතින බව ඔබ අප සියල්ලන්ම දන්නා කරුණකි. වත්මන් මිනිසා පුරුදුව සිටිනුයේ කාර්යය බහුල ජීවිතයකට ය. මුදල්ම තම අරමුණ කරගෙන සිටින මිනිසාට තම සෞඛ්‍යය ගැනවත් සිතීමට ඉඩක් නොමැත. ඔවුන්ගේ ජීවිතය අද තාක්ෂණය හා යන්ත්‍ර මත පදනම් වී ඇත. ඔවුන්ට ජීවිතයේ නිදහස අහිමි වී ඇත. මෙම තත්ත්වයන් මත වත්මන වන විට හදුනා ගැනීමට නොහැක් රෝගයන්ට පවා මිනිසාට මුහුණ දීමට සිදුව තිබේ. ආදි මිනිසා සතුව දීර්ඝ කාලීන ආයුෂක් පැවති අතර අද වන විට එම තත්ත්වය බොහෝ සෙයින් ගිලිහී ඇත. එමෙන්ම වත්මන් මිනිසාට පරිසරයෙන් ලබා ගැනීමට අවැසි දේ පවා ලබා ගැනීමට අමතකව ඇත. ඔවුන් අද පරිසරයට ආදරය කරනු වෙනුවට කරනු ලබනුයේ පරිසරය විනාශ කිරීම ය. එනම් තමාගේ විනාශය ලගා කර ගැනීම ය.
මෙසේ බලන කළ සොබාදහම හා මානව සෞඛ්‍යය එකිනෙකට බැදී පවතින පුරුක් දෙකක් ලෙස දැක්විය හැකි ය.මිනිසාට වින කරන්නා වූ ලෙඩ රෝගයනට පරිසරය මූලිකම හේතුව වන අතර එම රෝගයනට වෛද්‍යවරයා වන්නේ ද පරිසරය යි. නමුදු මෙම රෝගයනට පදනම දමනු ලබන්නේ ද මිනිසා විසින් බව සදහන් කළ යුතු ය.
පාරිසරික ගැටලු සෞඛ්‍යය ක්‍ෂේත්‍රයට බලපාන අයුරු
ගෙවීගිය ශත වර්ෂය මානවයා ප්‍රමානාත්මකව වැඩිම තාක්ෂණික දියුණවක් ලබාගත් අවධිය ලෙස සැලකීම වැරදි නොවේ. නමුදු මෙම කාල සීමාව පරිසරයට වැඩිම අනර්ථයක් කළ කාල සීමාව ලෙස හැදින්වීම ද වැරදි නොවේ. සොබාදහමේ සම්පත් ඉතාමත් කෑදරව ගිලගත් මිනිසා තමාගේ ගැන සිතුවා මිස ඉදිරියේදී තමාට මෙන් ම අනාගත සමාජයට වන්නා වූ තත්ත්වය ගැන නොසිතුවේ ය. ගෝලීය පරිසරයේ වෙනස් වීමත් සමඟ ම පසුගිය කාලය තුළ ලාංකීය පරිසරයේ බොහෝ ගැටලු ඇතිවන්නට විය. පාරිසරික විපර්යයාසයන් හේතුවෙන් මිනිසාගේ සෞඛ්‍යයට එල්ල කරමින් පවතින බලපෑම් සම්බන්ධව අද බොහෝ දෙනා කතා කරති. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැතිරෙන වසංගත රෝග තත්ත්වයන් හා බෝ නොවන රෝග තත්ත්වයන් පිළිබද කතා කරන අතර මෙයට ප්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ ද පාරිසරික විපර්යයාසයන් ය. නමුදු මෙම තත්ත්වය පාරිසරික ගැටලු නිසා වන්නක් යැයි පවසමින් නිහඩ වීම යුතු ද යන්න විමසා බැලිය යුතු ය. නැත මෙම තත්ත්වයනට වග කිව යුත්තන් වන්නේ ද අපම ය. මෙය අප විසින් ලෙඩ රෝගයනට අත වනා ගෙන්වා ගැනීමක් වැන්න.
පරිසරයේ සිදු වන්නා වූ ගැටලු සහගත තත්ත්වයන් සෘජුවම බලපානු ලබනුයේ සෞඛ්‍යය ක්‍ෂේත්‍රයට ය. 2012 වර්ෂයේ දී පමණක් පාරිසරික බලපෑම් නිසා ඇති වූ සෘජු හා වක්‍ර ප්‍රතිඵල හේතුවෙන් ඇත් වූ මරණ සංඛ්‍යාව මිලියන 5 ක් පමණ වන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසා ඇත. මෙම තත්ත්වය ලංකාව තුළ ද සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින්නකි. මෑත කාලයේ ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රබල සෞඛ්‍යය ප්‍රශ්නයක් ලෙස ඩෙංගු රෝගය හිස ඔසවා ඇති අයුරු දැක ගත හැකි ය. මෙයට ප්‍රධානතම හේතුව පරිසර දූෂණය යි. දේශගුණික වෙනස්වීම් රෝග කාරක මදුරුවන්ගේ බෝවීම වැලැක්වීමටත් ව්‍යාප්ත කිරීමටත් ප්‍රමුඛව බලපානු ලබයි. ලංකාවේ මුල් කාලීනව ඩෙංරැු රෝගයට අතිශය බිය වූ මිනිසා වත්මන වන විට එය සාමාන්‍යය රෝගයක් බවට සැලකීමට පුරුදුව සිටිති. ඩෙංගු රෝගය සහ මැලේරියාව යන රෝග කාරකයන් ලංකාවට ගෙන්වා ගත් රෝග කාරකයන් දෙකකි. මෙකී තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපානු ලබනුයේ පරිසර දූෂණයයි. එනම් පොලිතීන් ප්ලාස්ටික් භාවිතයට හුරු වී සිටින වත්මන් ලාංකිකයා ඒවා බැහැර කිරීමේ දී කිසිදු සැලකිලිමත්භාවයක් නොදක්වයි. පරිසරයට සෘජුවම කිසිදු පැකිලීමකින් තොරව නොදිරන ද්‍රව්‍යය එක් කිරීමෙන් පාරිසරික වශයෙන් ගැටලු රාශියක් පැන නගී. මෙකී තත්ත්වය රෝග කාරකයන් ට තම ව්‍යාප්තියට අනගි වූ අවශ්තාවන් ය.
එපමණක් නොව ජල දූෂණය ද වත්මන් ලංකාවේ ප්‍රමුඛතම පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. ජල දූෂණය දීර්ඝ කාලීනව මානව සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කරයි. මේ වන විට ලංකාව තුළ භාවිතයට සුදුසු ජලය ඇත්තේ ඉතාමත් සීමිත ප්‍රමාණයකි. අධික රසායනික පොහොර භවිතය, කර්මාන්තශාලාවල අපද්‍රව්‍යය බැහැර කිරීම ජල දූෂණයට ප්‍රධානතම හේතු සාධක වේ. මෙම තත්ත්වයන් මත ඇති වී ඇති ලෙඩ රෝග අතර වකුගඩු රෝගය ප්‍රමුඛ වී ඇත. පසුගිය කාලය පුරාවටම අසන්නට ලැබුණු රජරට වකුගඩු රෝගය මෙයට කදිම නිදසුනකි. විවිධ හේතූන් මත වකුගඩු රෝගය ඇති වුව ද රජරට වකුගඩු රෝගය හට ගත්තේ ඊට හාත්පසින් ම වෙනස් වූ තත්ත්වයක් මත ය. එනම් පරිසර දූෂණය යි. පරිසර දූෂණය සදහා විවිධ හේතු බලපාන අතර අප අධි භාවිතයෙන් යොදා ගන්නා රසායනික ද්‍රව්‍යය හේතුවෙන් ද පරිසර දූෂණය සිදු වේ. කෘෂි කර්මාන්තයේ දී වල් නාශක හා කෘමි නාශක ලෙස හා පොහොර ලෙස ආකාර කිහිපයකින් ම රසායනික ද්‍රව්‍යය අධික ලෙෂ භාවිතයට ගනී. මුදල් පමණක් පදනම් කරගෙන වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් අහිංසක ගොවීන්ට ලබා දුන් මෙම කෘමි නාශක හේතුවෙන් එම ගොවි බිම් ආශ්‍රිත ප්‍රදේශයන්හි ජල පෝෂක දැඩි ලෙස දූෂණයට ලක් විය. මෙකී තත්ත්වය මත රජරට වකුගඩු රෝගය එක්වරම හිස ඔසවන්නට වූයේ කිසිවකුගේ වරදින් නොව මිනිසාග්ම නොසැලකිලිමත්භාවය හේතුවෙනි. රටට බත සපයන ගොවීන්ගෙන් වැඩි පිරිසක් අද සිටිනුයේ රෝගී තත්ත්වයේ ය. මොවුන්ට අවැසි වනුයේ පිරිසිදු පානීය ජලය යි. මොවුනගේ එම අවශ්‍යතාවය සපුරා දී අධික ලෙස භාවිතා කරන රසායනික ද්‍රව්‍යය නැති කිරීමෙන් මෙකී රෝගී තත්ත්වය ඉදිරියේ දී හෝ නවතා දැමීම ට හැකි ය. මෙකී දරුණු තත්ත්වයට බලපෑ මූලික හේතුව වූයේ ද පාරිසරික ගැටලු ය.
වකුගඩු රෝගයට දෙවැනි නොවූ තවත් රෝගයකි පිළිකාව. මෙකී රෝග කාරකය ද වත්මන් ලංකාවඅරක්ගෙන ඇති කවත් එක් පිළිලයකි. බටහිර රටවල් මෙකී පිළිකා රෝගය වලක්වා ගැනීමට මේවන විට කටයුතු කරමින් සිටී. ඒ මෙම රෝගයට පදනම කුමක් ද යන්න ඔවුන් හදුනාගෙන ඇති බැවිනි. එනම් පරිසරය දූෂණය වීම මෙකී රෝගයට සාධකය යි. අප ජීවත් වන මහ පොළවේ සිට ගන්නා හුස්ම පොද දක්වාම සියල්ල දූෂණය වී හමාරය. මෙකී තත්ත්වය පිළිකා රෝගය ඇති වීමට ප්‍රබලතම දායකත්වයක් සපයයි. මීට වගකිව යුත්තන් වනුයේ ද අපමය. මිනිසාගේ අවිධිමත් ක්‍රියා කලාපයන් නිසා මෙවන් තත්ත්වයන් ඇති වේ.
බෝවන රෝග මතු වීම හා එහි ව්‍යාප්තියන් කෙරේ ද බලපානු ලබනුයේ පරිසර දූෂණය යි. පරිසරයේ සිදුවන ක්‍රියාකාරකම් රෝග වාහකයන්ට තම කර්තව්‍යය කර ගැනීම ට පහසුවකි. මේ ආකාරයට බලන කල පාරිසරික ගැටලු හා සෞඛ්‍යය ක්‍ෂේත්‍රය අතර ලවතින්නා වූ සබැදියාව එකිනෙකට වෙන් කල නොහැකි වූ සබැදියාවකි. මෙය එ කදිගට ගලා යන්නා වූ චක්‍රයක් යැයි පැවසීම නිවැරදි ය. මන්දයත් මිනිසා විසින් පරිසරය දූෂණය කරන අතර ඉන් ස්වභාවික ආපදා ඇති වේ. මෙම තත්ත්වයන් මත ඇති වන්නා වූ ලෙඩ රෝගයන් ද ආපසු පෙරළා ලැබෙනුයේ මිනිසාටම ය. මේ අනුව අපට වැටහෙන ප්‍රධානතම දේ වනුයේ පරිසරයේ සිදුවන සියලුම ක්‍රියා කලාපයන් හි ප්‍රතිඵලය මිනිසාට අත්වන බවත් පාරිසරික ගැටලු හා සෞඛ්‍යය ක්‍ෂේත්‍රය එකිනෙකට බැදී පවතින බවත් ය.
වත්මන් ලාංකිකයාට පැවරී ඇති අභියෝග
හෙට දිනට පිය නගන අනාගත ලෝකයට ශ්‍රී ලංකාව යන නාමය පමණක් ඉතිරි නොකොට ලක් මාතාව දායාද කිරීම වත්මන් ලාංකිකයාට පවතින ප්‍රධානතම අභියෝගයකි. මෙහිදී පරිසරය සුරැකීම ප්‍රබලම ස්ථානයක් ගනී. මන්දයත් මින්සාගේ පැවැත්ම රදා පවතින ප්‍රධානතම සාධකයක් වනුයේ පරිසරය බැවිනි. එනම් පැවැත්ම පිළිබද අභියෝගයක් මේවන විට ලාංකිකයාට නිතැතින් ම උරුමව ඇත. ලාංකිකයා දැනට ගමන් කරනා මාවතේ අවසානය වැඩි ඈතක නොවේ. තම අවසානයට වගකිව යුත්තේ පරිසරය ද..? නැත. මිනිසාම ය. තම පැවැත්ම ද අඩාල කර ගැනීමට තරම් මිනිසා පෙළඹුනේ එහුගේ නොමනා ක්‍රියා පටිපාටිය නිසාවෙනි. මෙය වෙනස් කළ හැක්කේ ද ඔහුටම ය. මිනිසා තවමත් පරක්කු නැත. තම පැවැත්ම දිගු කාලයක් රදවා ගැනීමටනම් කළ යුතු ක්‍රියා මාර්ගයයන් බොහෝය.
පරිසර විනෘශයේ ප්‍රති විපාක අනන්තව දැක්විය හැකි ය. රටක ස්ථීර පුරවැසියකුනම් ඔහුට හෝ ඇයයට එම රටේ පරිසරය සුරැකීමට කොන්දේසි විරහිත වගකීමක් පවතී. එහෙත් මානය උසස් කරගෙන සිටින මිනිසා එයට ලැජ්ජා වෙයි. පරිසරය සුරැකීමට වගකීම්පාරගෙන සිටින ඇතැම් පිරිස් විසින්ම පරිසරය විනාශ කරයි. තමා ගැන පමණක් සිතන සමාජයක සිටින අපට අනාගතයට ඉතිරි කිරීමට යමක් නොමැත. හිසට සෙවනක්, ගතට සිසිලසක්, ඇසට සුන්දරත්වයක් ලබාදෙන තුරුලතා එක පිට එක කපා දැමීමට පෙර ආදි මිනිසානම් කිහිපවරක් ම සිතා බැලීය. නමුත් වත්මනේ එසේ වන්නේ ද යන්න සොයා බැලිය යුතු ය. එපමණක් ද නොව පරිසරයට එක් කරන අපද්‍රව්‍යය සීමා කර ගැනීම අපට කළ නොහැකි නොවේ. පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය අවම කර ඒ වෙනුවට විකල්ප ක්‍රම භාවිතා කිරීම කළ හැකි ය. මිහිමත ජීවී පැවැත්ම උදෙසා මිහි මවගේ සෞඛ්‍යය ආරක්ෂා කළ යුතු ය. මිනිසා තම පැවැත්ම ශිෂ්ඨසම්පන්න ලෙස ගෙන යන්නේනම් පරිසරය රැකීම නිතැතින්ම සිදු වේ. එපමණක්ද නොව රටක නීති පද්ධතිය ස්ථීරවම නිසියාකාරව ඉටු වන්නේනම් රටක පැවැත්ම ද ස්ථීර වන්නේ ය. දියුණුව කරා මිනිසා යා යුතු ය. නමුත් එම දියුණුව තවෙකක විනාශය මතින් යා නොහැක.කරන්නා වූ විශාල ප්‍රමාණයේ ව්‍යාපෘතීන් සිදු කිරීමට මත්තෙන් එය කළ හැකිද, එමගින් සිදුවන අතුරු ප්‍රතිඵල හා ඒවාට විසදුම් සපයා ගැනීම කිරීම අනිවාර්යය වූවකි. යම් ආකාරයක හෝ මැදිහත් වීමක් සිදු කිරීමට අවැසිනම් එයට විකල්ප ක්‍රම සොයා ගත යුතු ය.
යහපත් සෞඛ්‍යයක් පවත්වා ගෙන නිදහස් ජීවිතයක් ගත කිරීමටනම් මිනිසාට යහපත් වූ පාරිසරික වටපිටාවක් අවශ්‍යය වේ. මෙහිදී මිනිසා සතුව ආර්ථික සමාජ සන්දර්භය වෙනස් කිරීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වේ. ආදි මිනිසා තම ආර්ථිකය පවතිවා ගනු ලැබුවේ තමා අවට පරිසරය තුළිනි. නමුදු බටහිරකරණයට යොමුව සිටින වත්මන් මිනිසා අදවන විට කෘෂිකාර්මික රටක් වන ලංකාවට සහල් පවා පිටරටින් ගෙන්වීමට යොමුව ඇත. මෙරට නිෂ්පාදනය කරන්නා වූ සියලුම ආර්ථික බෝගවලට පිටරටින් ගෙන්වනු ලබන කෘමිනාශක එක් කිරීමට මිනිසා පුරුදුව සිටී. එය පරිසර දූෂණයනට පමණක් නොව රටට ලෙඩ රෝගද ලෙන්වා ගැනීමකි. රටේ ආර්ථික ක්‍රමය වෙනස්විය යුතුය. මෙරට නිෂ්පාදනවලට වැඩි අගයක් ලබාදිය යුතු ය. විකල්ප ආර්ථික ක්‍රම ඇති කළ යුතු ය. එපමණක් ද නොව එම සෑම ක්‍රියාවක්ම සැලසුම් සහගත විය යුතු ය. රටේ ආර්ථිකය එම රටේ අනාගතයට බොහෝ සෙයින් බලපාන්නා වූ කාරණයකි.
මෙසේ බලන කළ වත්මන් ලාංකිකයා අභිමුව පවතින යුතුකම් වගකීම් බොහෝ ය. සමාජ, ආර්ථික, සෞඛ්‍යය, දේශපාලනික වශයෙන් ආදී කවර අංශයකින් ගෙන බැලුව ද මෙම සෑම අංශයක් කෙරේම බලපා තිබෙනුයේ සොබාදහමේ සිදුවන විපර්යයාසයන් ය. මෙම විපර්යාසයන් නැතහොත් ස්වභාවික ආපදා මිනිසාගේ නිර්මාණයකි. එනම් මෙයට වගකිව යුත්තා වනුයේ ද මිනිසාම ය. රටක පැවැත්ම සහ ජීවීන්ගේ පැවැත්ම රදා පවතින ප්‍රධානතම සාධකය වන්නේ එම රටේ පරිසරය යි. පරිසරය රැකීම එක් අයකුගේ වගකීමක් නොව සියල්ලනල්ගේම යුතුකමකි. අනාගත පරපුරට එම වස්තුව දායාද කිරීම ලාංකිකයන් වූ අප සැමගේ ම ප්‍රධනතම අභියෝලයක් බව මෙහිලා සදහන් කළ යුතුම ය.
ගෝලීය ත්‍රස්තවාදය හැරුණුකොට ලෝකය වැඩියෙන් ම සංවාද පවත්වනුයේ පරිසරය ගැන ය. පාරිසරික විනාශය ගැනය. මෙය ලොව අංක එකේ ගැටලුවක් බවට පත්ව තිබේ. ලෝකයේම අවධානයට පත්ව ඇති සුන්දර රටක් වන ලංකාව ද මෙම තත්ත්වයට ගොදුරු වෙමින් සිටිනා රටකි. ඒ බැව් මවිසින් සකස් කරන ලද මෙම නිබන්ධනයෙහි අන්තර්ගතය ඔස්සේ මොනවට කියාපායි.තිරසාර හෙවත් ධරණීය සංවර්ධනයක් සාක්ෂාත් වන්නේ පරිසරය හා ආර්ථිකය සමබර වුවහොත් පමණි. අප රටෙහි පවතින පරිසර අර්බුද ඉන් ඇතිවන රෝගාබාධ ජන පීඩාවන් ස්වභාවික විපත් ආදිය පිළිබද විමසන කළ කිසිදු අයුරක තිරසාර බවක් ඇතැයි විශ්වාස කළ නොහැක. ඒ සමඟම පරිසරය හා මිනිසා විරසකව තිබේ. වනාන්තරය වූ කළී තම පැවැත්ම ඉල්ලුම් කරන්නා වූ ද ජීව ක්‍රියාවලියේදී තම පැවැත්ම සාක්ෂාත් කරන්නා වූද අසීමිත දයානුකම්පායෙන් හා පරිත්‍යාගශීලීත්වයෙන් යුත් අපූරු ජීවියෙකි. මෙසේ හෙයින් ජීවිතයට උපකාර කරන වනාන්තරය ප්‍රති උපකාර කිරීම මිනිසාගේ කෘත ගුණ සැලකීමකි. නමුදු වන්නේ එයට විරුද්ධ වූ දෙයය. මෙම හේතුව නිසාම වන්නේ පරිසරය පෙරළා මිනිසාට දඩුවම් ලබා දිම ය. ස්වභාවික විපත් මගින් කියා දෙනුයේ එම පාඩම ය.
“ගසක් වැඩෙන්නේ යම් සේද ඊට අනුරූපව රටක සංවර්ධනය මිනිය හැක.” යනුවෙන් ජවහල්ලාල් නේරු තුමා කරන ලද ප්‍රකාශය සත්‍යය ය. වැඩෙන ගස රටක සංවර්ධනය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. මින් අපට එළඹිය හැකි නිගමනය මෙය යි. “දරුවන් නොලද ජනයාට බලාපොරොත්තු රහිත අනාගතයක් ඇත්තා සේම තුරු ලතාවන්ගෙන් තොර රටක් නිෂ්ඵල බවක් උසුලයි. ” ජව ශක්තියෙන් රටක් දියුණුව හා සංවර්ධනය කරා ළගා වුව ද එය සම්පූර්ණ වූ දියුණුවක් සංවර්ධනයක් නොවන බව සැබෑ ය. රටක සංවර්ධනයට එම රටේ පරිසරය බලපානු ලබයි. මෙම සියලු අදහස් තුලින් නිගමනය වනුයේ පරිසරයෙන් තොර ජීවයක් නැති බවයි. එහෙයින් මෙය මින් මතුවට සුරක්ෂිත නොකළහොත් මේ මිහිමඩල ජීවීන්ට අහිමිවන දිනය වැඩි ඈතක නැත.
-සදූ-
No comments:
Post a Comment